Search creations

Wednesday, March 23, 2022

ව්‍යවහාරික සමාජ විද්‍යාඥයෙකුගේ භූමිකාව නිරූපණය : කොළඹ වරාය නගර සංවර්ධන වැඩසටහන ඇසුරින් සිදුකරන විවේචනාත්මක අධ්‍යයනයක්...

 

ව්‍යවහාරික  සමාජ  විද්‍යාඥයෙකුගේ  භූමිකාව  නිරූපණය :  කොළඹ වරාය නගර සංවර්ධන වැඩසටහන ඇසුරින්  සිදුකරන  විවේචනාත්මක   අධ්‍යයනයක්...

 

තීක්ෂණ  ලක්රුවන්  බාලසූරිය

ශාස්ත්‍රවේදී  ගෞරව  උපාධි  අපේක්ෂක, ශ්‍රී ලංකා  සබරගමුව  විශ්වවිද්‍යාලය, බෙලිහුල්ඔය


සංක්ෂේපය - 

පුනරුදය, කාර්මික විප්ලවය ආදී  අවධීන්වලින් පසුව  සමාජය විද්‍යාව විෂය ක්ෂේත්‍රය ලෝකයට හඳුන්වා දෙන අතර, එහි අතු ශාඛා විවිධ දිශාවන් ඔස්සේ විමධ්‍යගත වේ. ඒ අනුව සම්භාව්‍ය න්‍යායධාරීන් හඳුන්වාදෙන න්‍යායාත්මක ප්‍රවේශය, ප්‍රායෝගික තලය මත භාවිත කරමින් ඉදිරියට පවත්වාගෙන යන විද්‍යාව ව්‍යවහාරික සමාජ විද්‍යාව ලෙස හඳුන්වා දිය හැකිය. ගැටලු විශ්ලේෂණය කරමින් දැනුම භාවිතය හා එහි ප්‍රායෝගිකව යොදා ගැනීම තුළින් ගැටළුවලට මුහුණ දුන් පිරිස් එක ප්‍රායෝගික සමාජ විද්‍යාඥයාගේ අවධානය යොමු වීම සහ අදාළ පිරිස වෙත සාධාරණය ඉටු කරමින් ප්‍රායෝගික තලය මත තම කර්තව්‍යය ඉටු කිරීමට ව්‍යවහාරික සමාජ විද්‍යාඥයන්ට හැකියාව සහ පන්නරය තිබේ. "දකුණු ආසියාවේ පිවිසුම් දොරටුව නොහොත් කොළඹ වරාය නගරය "  ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් වාණිජ අග නගරය වන කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ දිගුවක් ලෙස  Smart  City සංකල්පය ඔස්සේ ඉදිවෙන නවතම නගර සංවර්ධනය,  වරාය නගරය හෙවත් පෝට් සිටි නගර සංවර්ධනය යි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට යාබදව අලූතින් සිතියම්ගත ප්‍රදේශයක හෙක්ටයාර් 269 (අක්කර 664) , මුහුද ගොඩකරමින් , රුපියල් බිලියන 300 ක වියදමින් ඉදිවන කොළඹ වරාය නගරය අද වන විට ශ්‍රී ලංකාවේ පළමු සේවා නැඹුරු ආර්ථික කලාපය බවට පත්ව තිබේ. වරාය නගර සංවර්ධනය පිළිබඳව ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකුගේ භූමිකාව නිරූපණය කරමින් එම දැනුම ආයෝජනය කිරීම පිළිබඳව විවේචනාත්මක විග්‍රහයක් මේ තුළින් අනාවරණය කෙරේ. 

කේන්ද්‍රීය  වචන - ප්‍රජා සවිබලගැන්වීම, ව්‍යවහාරික සමාජ විද්‍යාඥයා , ව්‍යාපෘති සංවර්ධනය , ප්‍රතිපත්ති  විශ්ලේෂණය ,  ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය , ප්‍රජා  උපදේශනය

 

      ව්‍යවහාරික  සමාජ විද්‍යාව යනු  ක්‍රියාකාරී නව නිපැයුම් හරහා ධනාත්මක සමාජ වෙනස්කම් ඇති කිරීමේ අරමුණ ඇතිව අධ්‍යයනය සැලසුම් වලින් පරිබාහිරව සමාජ විද්‍යාත්මක න්‍යායන් සහ ක්‍රමවේද භාවිත කරන වෘත්තිකයන් විස්තර කරන යෙදුමකි.

 ( ( හැඳින්වීමේ ප්‍රකාශය - දර්ශනය සහ අනාගත දිශාව )


අන්තර්ගතය -

ප්‍රධාන වශයෙන් ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකුගේ භූමිකාව නිරූපණය කරන කාරණා කිහිපයකි.  ඒ අතරින්,

01. පුද්ගල හා කණ්ඩායම් පහසු කාරකයෙකු ලෙස කටයුතු කිරීම.

Ø  කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ආර්ථික සමාජයීය වශයෙන් ධනාත්මක අපේක්ෂාවන් සහ බලපෑම් ඉස්මතු වීම නිසා පීඩාවට පත් ප්‍රජා කණ්ඩායම් කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු කරමින්, බිම් මට්ටමේ හෙවත් ක්ෂුද්‍ර මට්ටමේ මැදිහත්කරුවකු ලෙස  ව්‍යවහාරික සමාජ විද්‍යාඥයාගේ භූමිකාව නිරූපණය කළ හැකිය. නිදසුන්  ලෙස , මේ නිසා තම වටිනා ඉඩම් අහිමි වූ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය සුවපත් භාවය පිණිස පවුල් උපදේශනය වැනි කටයුතු විධිමත් කරවීම, එම ප්‍රදේශ ආශ්‍රිත ප්‍රජා කණ්ඩායම් සවිබල ගැන්වීම සිදු කළ හැකිය. තමා පෙර සිදු කරන ලද ආර්ථික කටයුතු ගිලිහීයාම එනම්, තමාගේ කුඩා වෙළඳසැල ආර්ථිකය අහිමි වීම සහ ඉන් තම පවුලේ ආර්ථිකය පහත වැටීම නිසා ඇතිවන මානසික ව්‍යාකූලත්වය, ජීවන වියදම ඉහළ යාම  මත පවුලේ සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය මෙන්ම කායික මානසික සුවතාවය ද ගිලිහී යනු ඇත. මේ නිසා සැබැවින්ම තනි පුද්ගල හෝ පවුල් උපදේශනය ඉතාම අත්‍යාවශ්‍ය කාරණයකි. පුද්ගල හා කණ්ඩායම් පහසු කාරකයෙකු ලෙස මෙම මානසික පීඩ භාවයෙන් මිදීම සඳහා මනෝ උපදේශනය මෙන්ම නිසි මගපෙන්වීම යටතේ යළිත් එම ජනතාව සවිබල ගැන්වීම කෙරෙහි යොමුවීම අත්‍යවශ්‍ය වේ.

Ø සෑම පුද්ගලයෙකු ම පවුලේ සාමාජිකයෙකු නිසා පවුලේ ස්වභාවය පුද්ගල පෞරුෂය කෙරෙහි මහත් සේ බලපායි. එස්. මැකරෙන්කෝ  වරෙක ප්‍රකාශ කළ  පරිදි " ලොව ඇත්තේ පවුල් වර්ග දෙකකි. එනම් හොඳ පවුල් සහ නරක පවුල් ය. " මේ අනුව හොඳ පවුලක් බවට පත් කර ලීමට ගත යුතු  උපදේශන ක්‍රියා මාර්ගය හා මැදිහත්වීම උපදේශනය ප්‍රධාන ක්ෂේත්‍රයකි. පවුල් උපදේශනය විශේෂඥ පුහුණු උපදේශන ක්‍රියාවලියකි. එසේ වුවත් පොදු දැනුවත් කිරීම් මගින් ගැටලු මතුවීම දේශනා , කෙටි අනුශාසනා , ආගමික පුද පූජා ආදිය මගින් පවුලේ එකමුතුකම වර්ධනය කළ හැකිය. (Athukorala, 2017 June, පි. 36)

 

02. දැනුවත් කරන්නෙකු / පුහුණු කරන්නෙකු  ලෙස  කටයුතු  කිරීම.

Ø   පෝට් සිටි නගර සංවර්ධන වැඩසටහන හිතකර මෙන්ම අහිතකර වාතාවරණයක් ද පවතී. මේ නිසා ව්‍යාපෘතියේ ඇති තත්ත්වය පිළිබඳව නිසි අධ්‍යයනයක යෙදීම මෙන්ම ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට සහ රටේ ජීවත්වන අනෙකුත් ජනතාවට මේ පිළිබඳව නව අදහස්, නව දැනුම ලබාදීම ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකු ලෙස තම දැනුම ආයෝජනය කිරීමට එනම්, තම භූමිකාව නිරූපණය ට ඇති තවත් එක් විකල්පයක් ලෙස හැඳින්විය හැකිය. ජනතාව  දැනුවත් කිරීම හා අවශ්‍ය පුහුණුව ලබාදෙමින් වැඩසටහන් සම්පාදනය කරන්නෙකු ලෙස තම භූමිකාව නිරූපණය කළ හැකිය. නිදසුන්  ලෙස , පෝට් සිටි සංවර්ධන වැඩසටහන යටතේ ජලය හා සමුද්‍ර දූෂණය, පාංශු හා වායු දූෂණය ආදී වශයෙන් පරිසර දූෂණයන් සිදුවීමට ඉඩ ඇති බැවින් නගරය තුළ දීර්ඝ කාලීනව ජීවත්වන ජනතාවට එහි අහිතකර තත්ත්වය පිළිබඳ නිසි අවබෝධය ලබාදීමට ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් සම්පාදනය කළ හැකිය. ව්‍යාපෘතිය ආරම්භයේ දී පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොවූ අතර, එමඟින් එය අතරමග නැවැත්වීම නිසා විශාල වශයෙන් මූල්‍යමය පාඩුවක් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවීම ආදී හේතූන් මත මෙම අදහස් ජනතාව අතරට ගෙන යාමට ජනතා පදනම් ආයතනය  ඇතුළු සමාජ සංවිධාන සවිබලගැන්වීම හා මේ පිළිබඳව පාරිසරික පනත යටතේ  අදහස් විමසීම සිදු කළ හැකිය.

 

03. වැඩසටහන්  අගයන්නෙකු  ලෙස  කටයුතු  කිරීම.

Ø  යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන විට ප්‍රධාන අවස්ථා තුනක් පවතී. එනම්,

            I.     ව්‍යාපෘතිය  ආරම්භයට  පෙර

           II.     ව්‍යාපෘතිය  සිදුකරන  අවස්ථාව

         III.     ව්‍යාපෘතියෙන්  පසු    ආදී  වශයෙනි.

 

වරාය නගර  සංවර්ධන ව්‍යාපෘතිය  පිළිබඳව නිසි අධ්‍යයනයන් සිදුකිරීම සහ එය කෙතරම් භූමිභාගයක ක්‍රියාත්මක  වන්නේද ?, එහි වැදගත්කම යෝග්‍යතාවය කෙබඳුද ? , වැඩසටහන සිදු කරන අතරතුර සංජානනය කරගන්නා ස්වහාවයවැඩසටහන පසුවිපරම් කිරීම ආදී අවස්ථාවල දී වැඩසටහන් අගයන්නෙකු ලෙස ව්‍යවහාරික සමාජ විද්‍යාව භූමිකාව නිරූපණය කිරීම මෙහිදී වැදගත් වේ. ශක්‍යතා අධ්‍යයන වාර්තාව පිරික්සීම, ව්‍යාපෘතිය හරහා සිදුවිය හැකි සංවර්ධනයන් මෙන් ම එහි අතුරු විපාක ලෙස  සිදුවන ආර්ථික , පාරිසරික සහ සමාජීය බලපෑම් කෙබඳු ද යන්න පිළිබඳව මෙහිදී ඉහත දක්වන ලද අවස්ථාවන් ත්‍රිත්වයටම අනුව අධ්‍යයනය කරනු ලැබේ. නිදසුන්  ලෙස , පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භයට පෙර එනම් , 2013 නොවැම්බර් මස සන්නිවේදන ඉදිකිරීම් සමාගම ( China communications constructions company limited ) ( CCCC ) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව කොළඹ වරාය නගර සැලසුම සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාව පිළිබඳව අවධානය ලබාදිය හැකිය. වැඩසටහන අතරතුර එය සංජානනය කරගන්නා ආකාරය ද වැදගත් වේ . මේ හරහා ආර්ථික බලපෑම සහ චීනයට ලැබෙන ආර්ථික වාසි හා ලංකාවට ඇති අවාසිදායක තත්ත්වය නිරීක්ෂණය කළ යුතුය.විශේෂයෙන්ම මයිකල් හර්නියාගේ පුද්ගල යහපැවැත්ම පිළිබඳ දෘෂ්ටිකෝණය උපයෝගී කරගනිමින් එම ව්‍යාපෘතිය හරහා සිදුවූ සාර්ථකත්වය, අසාර්ථකත්වය අධ්‍යයනය කරමින්ව්‍යාපෘතිය දියත්වීමේදී ඇතිවන ගැටලුකාරී අවස්ථාවන් කෙරෙහි වඩාත් නැඹුරු වෙමින්, ව්‍යාපෘතියෙන් පසුව, ඒ ආශ්‍රිත ජනතාවට තමාට පෙර තිබූ වටිනා ඉඩම් අහිමිවීම, නිවාස ප්‍රමාණවත් නොවීම, පෙර තිබූ ආර්ථික තත්ත්වය ගිලිහී යාම සහ ඉන් පසුව ඇතිවන මානසික ව්‍යාකූලත්වය ආදී කාරණා පිළිබඳව  අධ්‍යයනය කරමින්, වරාය නගර සංවර්ථනයෙන්  ජනතා සවිබල ගැන්වීම සිදුවීද ? යන්න නිරීක්ෂණයට ව්‍යවහාරික සමාජ විද්‍යාඥයෙකු ලෙස එහිදී තම දායකත්වය දැක්විය හැකිය.

 

 

                         04. ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම

Ø     ප්‍රජා කණ්ඩායම් මුහුණ දෙන ගැටළු විවිධාකාර වේ. නිසි අවධානයට ගනිමින් ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකු ලෙස එම ප්‍රජා කණ්ඩායම් වලට අවශ්‍ය උපදෙස් ලබාදීම හා විවිධ ක්‍රමවේද හරහා ප්‍රශ්න වල නිර්මාණය කර තොරතුරු රැස් කිරීම මගින් එම ගැටලු විසඳීම සඳහා ප්‍රජා මට්ටමෙන් තම දායකත්වය ලබාදීම මෙහිදී වැදගත් වේ. " රොබට් චේම්බර්ස් "විසින් හඳුන්වා දෙන ලද ඉහළ සිට පහළට ව්‍යාපෘති විහිදෙන ආකාරය ප්‍රජා සහභාගීත්වය සහිතව ක්‍රියාවට නැංවීමේ ව්‍යවහාරික විද්‍යාඥයකුගේ භූමිකාවේ ඇති වැදගත්කම මෙහිදී  විද්‍යාමාන  කළ යුතුය. නිදසුන් ලෙස , කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය වෙතින් උද්‍යාන අලංකරණය ඇතුළු හරිත කලාපවල රුක් රෝපණය සඳහා කාබනික පොහොර භාවිතය දේශීයව  යොදා ගැනීමට අපේක්ෂා කර ඇති නමුත්එකවර කාබනික පොහොර භාවිතය සම්බන්ධව ප්‍රායෝගික ගැටළු පවතී. මේ පිළිබඳව පවතින අඩු දැනුම ද මේ සඳහා බලපා ඇත. කුඩා වෙළඳසැල් හිමියන්ට තම වෙළඳසැල් අහිමිවීම නිසා ආර්ථික අර්බුදවලට මුහුණ දීමට සිදු වීම ද මෙහි තවත් එක් ගැටලුවකි. ගොඩ කරන ලද භූමිය ආශ්‍රිතව පවතින ගිලී ගිය නැව් ආශ්‍රිතව අධික  ජනගහනයක් ඒ කලාපය තුළ බෝවීම නිසා මෙම ව්‍යාපෘතිය මගින් මත්ස්‍ය සම්පත විශාල වශයෙන් පහළ යා හැකිය.  මත්ස්‍ය ව්‍යාපාරය සඳහා වෙනත් විකල්ප ස්ථාන භාවිත කිරීම ද, කාබනික පොහොර භාවිතයට එකවරම හුරු නොවී , එම තත්ත්වයට ටිකෙන් ටික හුරු වන ලෙස රසායනික පොහොර භාවිතය තවදුරටත් යම් මට්ටමකින් පවත්වා ගැනීම මගින් මෙම ගැටලුවලට යම් මට්ටමක විසඳුමක් සැපයිය හැකිය. ඒ සඳහා ජනතාව දැනුවත් කරමින්, ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක ක්‍රමවේදය හරහා ප්‍රශ්නාවලි නිර්මාණය කර , තොරතුරු ගවේෂණය සිදු කිරීම වැදගත් වේ. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව අතර ගැටලුවක් ඇති නොවීමට වගබලා ගන්නා අතර, ව්‍යවහාරික සමාජ විද්‍යා භූමිකාව තුළ ප්‍රජා මට්ටමේ උපදේශකවරයෙකු වශයෙන් ජනතාවට නිසි අවබෝධය විවිධ ඉදිරිපත් කිරීම් සහ දත්ත වාර්තා සුහද සාකච්ඡා තුළින් ගෙන  ඒමට ව්‍යවහාරික සමාජ විද්‍යාඥයින් සමත් විය යුතුය.

 



05. මැදිහත්කරුවෙකු  ලෙස  කටයුතු  කිරීම .

Ø ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකු ලෙස, පවතින ගැටුම් අවස්ථා නිරාකරණය කිරීම පිණිස විපර්යකාරක ලෙස කටයුතු කිරීමට අවකාශය ලැබේ. එනම්වෙනසක් ඇති කිරීමට යොමුවන පුද්ගලයෙකු ලෙසය. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ආන්තීකරණයට ලක් වූ පිරිස් වෙනුවෙන් ප්‍රජා කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටීම සමාජය තුළ ක්ෂුද්‍ර මට්ටමේ, මධ්‍යම මට්ටමේ සහ සාර්ව මට්ටමේ ආදී වශයෙන් විවිධ පිරිස් මුහුණ දුන් ගැටලුව හඳුනා ගැනීම හා ඒ සඳහා පිළියම් ලබා දීමට මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමද ව්‍යවහාරික සමාජ විද්‍යාඥයාගේ තවත් එක් භූමිකා නිරූපණයක් ලෙස හැඳින්වේ. මෙම වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් ආර්ථික වශයෙන් මෙන්ම සමාජ හා සංස්කෘතික වශයෙන් ද ආන්තීකරණයට ලක් වූ ජනතාවගේ මානසික ව්‍යාකූලත්වය ඉහළ යමින් පවතින අතර ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකු ලෙස මැදිහත් වී එම ගැටලුව නිරාකරණය කරමින් එම ජනතාවට අවශ්‍ය මානසික සහනය ලබා දෙමින්, ඉන් ශාරීරික යෝග්‍යතාව ඇතිකිරීමට කටයුතු කළ හැකිය.

Ø ළමයින්ට, විවිධ සංස්කෘති පසුබිම් වල සේවාලාභීන්ට, මහලු අයට, ආගමට ලැදියාවක් ඇති අයට, එකට ලියූ සේවාලාභීන්ට කෝ අර්බුදකාරි මානසික වික්ෂිප්ත තත්ත්වයට පත් වූ පුද්ගලයන්ට ආදී විවිධ වයස්, ආර්ථික හෝ සමාජයීය මට්ටමේ සිටින පුද්ගලයන්ට උපදේශනය අවශ්‍ය වනුයේ විවිධ අයුරින් විය හැකිය. වඩාත් අවශ්‍ය වනුයේ කවර උපදේශන ක්‍රියාවලිය දෙයක් නෑ ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට අවශ්‍යතාවෙන් අවශ්‍යතාවයට වෙනස් විය හැකිය. (Athukorala, 2017 June, පි. 43)

නිදසුන්  ලෙස , ආර්ථික අංශයේ දී වෙළඳ සැලක් විවෘත කොට පවත්වාගෙන යාම සඳහා රජයට අධික බදු මුදලක් ගෙවීමට සිදුවීමත්, භාණ්ඩ  සඳහා අධික මුදලක් ගෙවීමට සිදුවීමත්, නැරඹීම ඇතුළු විදුලි බිල් ,ජල බිල් පත් සඳහා ගෙවිය යුතු මුදල ඉහළ යාමත්, නාගරිකව ජීවත්වන ජනතාවට මානසික අසහනය තවදුරටත් වර්ධනය කරයි.මේ නිසා නෝ උපදේශන ක්‍රියාවලියෙහි විධිමත්භාවය තුළින් ජනතාවට අවශ්‍ය මානසික සහනය සැලසීමත්, දියකඩනය නිර්මාණයේදී කළුගල් කියුබික් මිලියන 3. 45 ක් යොදාගත් බව සංඛ්‍යා ලේඛනවල තහවුරු වුවත්,  කළුගල් ලබා ගැනීම නිසා සිදු වූ පාරිසරික බලපෑම පිළිබඳව දැඩි තර්ජනයකට මුහුණ දී සිටින්නේ ඒ ආශ්‍රිතව ජීවත් වන ජනතාව යි. පරිසර සංරක්ෂණය කෙරෙහි තවදුරටත් ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා යොමු කිරීමත්, තම පවුලේ නඩත්තුව වෙනුවෙන් ස්වයං රැකියා ඇතුළු ආර්ථික අංශය වර්ධනය කිරීම මෙන්ම වරාය නගර සංවර්ධනය හරහා ඇතිවන නව රැකියා කෙරෙහි ඔවුන් යොමු කරවීමෙන් පවුල්වල කායික , මානසික ගැටලු නිරාකරණය කරවීමට ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකුගේ භූමිකාව මේ සඳහා මැදිහත්කරුවකු ලෙස යෙදවිය හැකිය.

 

06. ස්ත්‍රී- පුරුෂ සමාජ භාවය සවිබල ගන්වන්න එක ලෙස කටයුතු  කිරීම.

Ø  කොළඹ වරාය නගර සංවර්ධනය හරහා ඇතිවන නව රැකියා 6400 තුළ ද බොහෝ විට ඇත්තේ පුරුෂයන් සඳහා වෙන් වූ රැකියා වේ. මේ නිසා කාන්තාවන් බොහෝ විට සමාජ ආන්තීකරණයට ලක් වේ. එමෙන්ම ආර්ථික සහ සමාජීය ගැටළු හේතුවෙන් පීඩාවට පත්වන පවුල තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යන අතර, එයින් කාන්තාවන් දැඩි ලෙස හිංසනවලට ලක් වේ. දේශපාලන, සමාජ හා සංස්කෘතික මෙන්ම ආර්ථික ආදී විවිධ ක්ෂේත්‍ර වල පුරුෂාධිපත්‍යය තුළින් කාන්තාව සමාජ ආන්තීකරණයට ලක්වීම නිසා ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකු ලෙස ස්ත්‍රී - පුරුෂ සමාජභාවය සවිබල ගන්වන්නෙකු වශයෙන් කටයුතු කළ හැකිය. නිදසුන්  ලෙස, ස්වයං රැකියා අවස්ථා කෙරෙහි කාන්තාව යොමු කිරීම, පවුල් උපදේශනය තවදුරටත් බලාත්මක කරමින්  පුරුෂයන් කෙරෙහි වඩාත් දැනුවත් කිරීම,පවුලේ ආර්ථික සහ සමාජයීය වශයෙන් සැලසුම්කරණයේ දී නිසි ලෙස තීරණ ගැනීමට අවකාශ සැලසීම,විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා තවදුරටත් ජනතාව දැනුවත් කිරීම මෙන්ම දේශන පැවැත්වීම කටයුතු විධිමත් කිරීම අනාගත වැඩ ලෝකය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් වලට සිර නොවී තවදුරටත් ගෝලීය වශයෙන් පවතින දැනුම් සම්භාරය එම ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීම දැක්විය හැකිය.

 

07. ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කිරීම.

Ø  ව්‍යවහාරික සමාජ විද්‍යාඥයකු ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ප්‍රතිපත්ති චක්‍රය එකෙක් අවස්ථාවලට සම්බන්ධ වීම පිළිබඳ වශ්‍ය දැනුම ආයෝජනය කිරීම මෙහිදී වැදගත් වේ. එම ප්‍රතිපත්තිවල ස්වභාවය, ක්‍රියාපිළිවෙත් ආදිය පිළිබඳව අවධානයට ගනිමින් කටයුතු කිරීම මෙහිදී වැදගත් වේ. නිදසුන්  ලෙස , වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික යන සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින් නිසි න්‍යාය පත්‍රයකට අනුව තොරතුරු රැස් කිරීම වැදගත් වේ.

Ø  වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන විට වැදගත් වන ක්ෂේත්‍ර මොනවාද ?

Ø  වරාය නගර රැකියා ලැබිය යුතු පවුල් ඒකක මොනවාද ?

Ø  රැකියා අවස්ථා වඩාත් ලැබිය යුතු දිළිඳු පවුල් මොනවාද ?

Ø  නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී පවතින ගැටලු මොනවද ?

Ø  ව්‍යාපෘතිය නිසිලෙස හඳුනා ගැනීමත්, ව්‍යාපෘති අවශ්‍යතාවය නාගනිමින් සම්පත් මූලික ප්‍රවේශය හරහා ව්‍යාපෘති අධ්‍යයනය කිරීමත්, වෙළෙඳපොළ පාදක ප්‍රවේශය යටතේ ව්‍යාපෘතිය හඳුනා ගැනීම ආදී ක්‍රියා පිළිවෙත් කෙරෙහි ව්‍යවහාරික සමාජ විද්‍යාඥයෙකුගේ භූමිකාව මේ හරහා නිරූපණය කළ හැකිය.

 

නිගමනය -

Ø     මේ වන විටත් මූලික අදියරේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින දකුණු ආසියාවේ විශාලතම නේවාසික සිල්ලර හා ව්‍යාපාරික ගමනාන්තයේ වීම අරමුණු කර ගත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි මේ වන විටත් බොහෝමයක් සතුටුදායක මෙන්ම අසතුටුදායක බලාපොරොත්තු ද එක් කර ඇත.ආර්ථික වශයෙන් බොහෝ වාසි සහගත තත්ත්වයන් ඉස්මතු කළ ද ඒ තුළින් පාරිසරික ශක්‍යතාවයන් සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි විවිධ පරිසර දූෂණයන් හි බලපෑම ඉවහල් වන බව ද ව්‍යවහාරික සමාජ වි විද්‍යාඥයෙකුගේ භූමිකාව නිරූපණයේදී අනාවරණය වේ. වගකිව යුතු නිසි පාර්ශවයන් ප්‍රතිපත්ති සම්පාදනය නොකරන්නේ නම් වරාය නගරය ඉදිරි ආයෝජනය කෙරෙහි ආකර්ෂණය නොවන්නට ඉඩ ඇත. ව්‍යවහාරික සමාජ විද්‍යාඥ භූමිකාවේ දැනුම නිසි ලෙස ආයෝජනය කරමින්, ප්‍රායෝගික තලය මත නම් නිදසුනක් ලෙස වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි එය ආයෝජනය කරන ආකාරය පිළිබඳව විධිමත් අවධානයක් යොමු කළ යුතු බව ගම්‍යමාන වේ.

 

 

පරිශීලන මූලාශ්‍රය

 

 අතුකෝරාල , ඩී. ආර්. ( 2017 ජූනි ) . මනෝවිද්‍යාත්මක උපදේශනය . කොළඹ : ශික්ෂා         මන්දිර ප්‍රකාශකයෝ.


 සිළුමිණ පුවත්පත . " ශ්‍රී ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂය කොළඹ වරාය නගරය යි ." .         2021/ජුනි/26 ). http://www.silumina.lk/

 

Price waterhouse Corpus - report of economic impact assessment of the ford City Colombo.                    ( 2020/Feb/11 ) - http://www.portcitycolombo.lk/

 

Central Bank of Sri Lanka - https://www.cbsl.gov.lk/

 

www.youtube.com - http://www.youtube.com/watch?v=ji3c4_dhDYE

 

 


No comments:

Post a Comment

My Favourite Photos

20 19 18 17 16 15 14 13 12 11 10 09 08 07 06 05 04 03 02 01